රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැ‍ගෙන ඒමට නාවික හමුදා සහාය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (අගෝස්තු 15) නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව, බේරුවල ධීවර වරායෙන් 2019 අගෝස්තු 06 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ගිතාංජලි 1’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගීවි සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව විසින් එම රෝගියා රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

එහිදී ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 10 ක් පමණ වූ දුරකදී රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණු අතර, ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.