නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.05 ක් තලෙයිමන්නාරමෙන් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 16) අළුයම තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි වෙරළේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ‍කිලෝග්‍රෑම් 1.05 ක් මෙලෙස සොයා ගෙන ඇති අතර, සොයා ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලිසිය වෙත භාර දීමට නියමිතය.

ඒ අනුව, මෙම වසර තුලදී පමණක් මෙරටට රැගෙන ඒමට උත්සහ කිරීමේදී සහ රට තුල තිබූ තහනම් මත්ද්‍රව්‍ය වන හෙරොයින් කිලෝග්‍රෑම් 452, කේරළ ගංජා කිලෝග්‍රෑම් 2397 ක්, දේශිය ගංජා කිලෝග්‍රෑම් 03 ක්, බීඩි කොළ කිලෝග්‍රෑම් 29009 ක්, මදන මෝදක පැකට් 6800 ක්, මත් වීම සඳහා යොදා ගත් වේදනා නාශක ඖෂධ කරල් සහ පෙති 802 ක්, නීති විරෝධී දුම්වැටි 8140 ක් සහ හෂිස් කිලෝග්‍රෑම් 01 ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දෙමින් නාවික හමුදාව මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට දායක වී ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවට අයත් සාගර කලායේ සහ රට තුල සිදු කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීමේ ජාතික මෙහෙවර සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.