මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ උත්සවයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි අවසන් ඇසළ මහා පෙරහැරට සමගාමිව පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී 2019 අගෝස්තු 15 වන දින දියකැපීමේ උත්සවය පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

ඒ අනුව, මෙම දියකැපීමේ උත්සවය සඳහා නාවික හමුදා ඩිංගි යාත්‍රා යොදවා ආරක්‍ෂක ක්‍රමෝපායන් භාවිතා කර එම කටයුතු වඩාත් ක්‍රමවත්ව හා ඉතාමත් සාර්ථකව නිම කර ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශය සහ ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකය කටයුතු කරන ලදී.

ඒ සඳහා නාවික හමුදාව විසින් සපයන ලද දායකත්වය වෙනුවෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වික මහා නායක හිමිවරුන්ගේ, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන්ගේ සහ සතර මහා දේවාල වල බස්නායක නිලමේවරුන්ගේ ඉමහත් ගෞරවයට හා ප්‍රශංසාවට නාවික හමුදාව ලක්වීය.