මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2019 අගෝස්තු 17 වන දින කල්පිටිය, මාම්පුරි ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව කල්පිටිය, මාම්පුරි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී යතුරු පැදියකින් ගමන් ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඇත. සිදු කළ වැඩිදුර පරික්‍ෂාවේදී ඔහු ලඟ තිබී කේරළ ගංජා ග්‍රෑම් 250 ක් සොයා ගෙන ඇති අතර, එහිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු කේරළ ගංජා අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා නොරොච්චෝලේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාව පසුගිය දින කිහිපය පුරා සිදු කළ මෙහෙයුම් හේතුවෙන් මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත් වූ අතර, නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහ කැපවී කටයුතු කරමින් සිටී.