අනවසර සංක්‍රමණිකයින් දහසය දෙනෙකු (16) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දහසය දෙනෙකු (16) 2019 අගෝස්තු 19 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලිමකදි සැක කටයුතු නිවසක් නිරික්‍ෂණය කර ඇත. එහිදී සිදු කරන ලද වැඩි දුර පරික්ෂණ වලදි නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදේශ ගත විමට සුදානම්ව සිටි පුද්ගලයින් දාහතර දෙනෙකු, නිවෙස් හිමියා සහ ජාවාරම්කරු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

එලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අතර, සිටි ජාවාරම්කරු විසින් මීට පෙරද ඕස්ට්‍රේලියාව වෙත නීති විරෝධි සංක්‍රමණිකයින් පිටුවහල් කිරිමට කටයුතු කර ඇති අතර, මිනිස් ජාවාරමක් සම්බන්ධව ද අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් මෙම පිරිස කුරුණැගල,හලාවත,පුත්තලම සහ මීගමුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. වැඩි දුරටත් මෙම පිරිස රැදි සිටි නිවස අවට පරික්ෂා කිරිමේදි මෙම පුද්ගලයින් ප්‍රවාහනය සඳහා භාවිතා කලායැයි සැක කෙරෙන කුඩා ලොරි රථයක් සහ යතුරු පැදියක් ද සොයා ගැනිමට නාවික හමුදාව සමත්ව ඇත. නාවික හමුදා භාරයට ගත් පිරිස අතර, කුඩා ළමුන් දෙදෙනෙක්(2) එක් කාන්තාවක්(1) සහ පිරිමි පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සිටියි. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් කුඩා ලොරි රථය සහ යතුරු පැදිය වෙන්නප්පුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මෙලෙස නාවික හමුදාව විසින් සිදුකරන නිරන්තර සෝදිසි කිරිම් හේතුවෙන් 2019 අගෝස්තු මස 17 වන දිනද, අනවසර සංක්‍රමණිකයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා බාරයට ගැනිමට හැකි විය. ඒ අනුව නාවික හමුදාව විසින් සිදු කරන සෝදිසි කිරිම් හේතුවෙන් මෙරටින් නීති විරෝධි ලෙස විදේශ ගතවිමට උත්සාහ දරන අනවසර සංක්‍රමණිකයන් සහ මිනිස් ජාවාරම් කරුවන් අවම කිරිමට නාවික හමුදාව සමත් වී ඇත.