බංග්ලාදේශය සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත බංග්ලාදේශ,මාලදිවයින සහ ශ්‍රීලංකා වෙරළාරක්ෂක නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවක් 2019 අගෝස්තු 19 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

ඒ අනුව පාඨමාලාව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මග පෙන්විම යටතේ පැවැත්වේ . මෙම පාඨමාලාවේ සමාරම්භක දේශණය කොමාණ්ඩර් ධර්මසිරි හේරත් විසින් පවැත්වු අතර, උත්සවය සඳහා විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේ පුහුණු නිලධාරි‍ සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සමුද්‍රීය නීති උපදේශකවරුන්ද සහභාගිවී සිටියහ.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව හතර වන වරට පවත්වනු ලබන මෙම පාඨමාලාව සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැත්වේ. ඒ අනුව මෙම පාඨමාලාව සඳහා බංග්ලාදේශය, මාලදිවයින යන රටවල නාවික හමුදා පුද්ගලයින් 20 දෙනෙකු සහභාගී වන අතර, ඒ සඳහා බංග්ලාදේශ නාවික හමුදා පුද්ගලයින් 08 දෙනෙකු සහ මාලදිවයින් නාවික පුද්ගලයින් 07 දෙනෙක් ඇතුළත් වේ. තවද, මෙවර එම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය නියෝජනය කරමින් එක් නිලධාරියකු සහ නාවික හමුදාව නියෝජනය කරමින් නාවිකයන් 07 දෙනෙකු සහභාගීවන අතර, මෙම පාඨමාලාව තුළදී ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම සූදානම් කිරීම හා ප්‍රවාහනය මැඩපැවැත්විම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරනු ලබයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්, අපරාධ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් ගෝලීය ප්‍රජාව ආරක්ෂා කර ගැනීමේ ප්‍රධානතම කාර්යය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත පැවැරි ඇති අතර, එම කාර්යාලය මඟින් සිය සාමාජික රටවල් සඳහා නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, සාගරික අපරාධ, ත්‍රස්තවාදි කටයුතු සහ අනවසර මිනිස් ජාවාරම් වැනි කටයුතු මර්ධනය කිරීම සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි. තවද, මෙම පාඨමාලාව 2019 අගෝස්තු මස 30 වන දින දක්වා පැවැත්විමට නියමිතයි.