ශ්‍රීලංනානෞ සයුර සහ නන්දිමිත්‍ර නෞකාවන් පුහුණු සංචාරයක් සඳහා බංගලාදේශ චිතගොන් සහ මියන්මාරයේ රැංගුන් වරායන් බලා පිටත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රිලංනානෞ සයුර සහ මිෂයිල ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර යන නෞකාවන් 2019 අගෝස්තු මස 22 වන දින පුහුණු වන නිලධාරින්ගේ පුහුණු සැසියකට සහභාගි විම සඳහා නාවික තඨාකාංගණයෙන් බංගලාදේශයේ චිතගොන් සහ මියන්මාරයේ රැංගුන් වරායන් බලා යාත්‍රා කරන ලදි.

ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) නිලන්ත හේවාවිතාරන කටයුතු කරනු ලබන අතර, කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි.

ඒ අනුව ත්‍රිකුණාමල වරායෙන් පිටත් වු මෙම නෞකාවන් අගෝස්තු මස 26 වන දින සිට 29 වන දින දක්වා බංගලාදේශයේ රැඳී සිටින අතර, ඉන්පසු සැප්තැම්බර් මස 01 වන දින සිට 04 වන දින දක්වා මියන්මාරය තුල රැඳී සිටිමට නියමිතය. එම කාල සීමාව තුළදී නෞකාවන්ගේ නැව් මුළුවන් එම රටවල නාවික හමුදාවන් සමඟ පුහුණු සැසි කිහිපයක් සඳහා සහභාගි වීමටද නියමිතය.

තවද, මියන්මාරයේ රැඳී සිටින කාල සීමාව තුල එරට නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද වොලිබෝල් තරඟයක් සඳහා සහභාගි වීමට නියමිත අතර, එමගින් දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම අපේක්ෂා කෙරේ.

ශ්‍රීලංනානෞ සයුර සහ නන්දිමිත්‍ර නෞකාවන් පුහුණු සංචාරය අවසන් කර සැප්තැම්බර් මස 04 වන දින රැංගුන් වරායෙන් පිටත් වී නැවත ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිතව ඇත.

;