ආපදාවට පත් ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහයවේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු මස 22 වන දින ත්‍රිකුණාමලය, සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට සහය විය.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් මුර සංචාරය සඳහා යොදවා තිබූ නාවික යාත්‍රාවක් මගින් මුහුදේ පාවෙමින් තිබූ ඩිංගි යාත්‍රාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔවුනට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඉදිරිපත් වී ඇත. මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් වෙහෙසට පත්ව සිටි ධීවරයින් පිරිසට අවශ්‍ය ආහාර පාන ලබාදීමට ද ‍මෙහිදී නාවික හමුදාව කටයුතු කළේය.

මෙලෙස අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනා වයස අවුරුදු 28 ත් 31 ත් අතර වියෙහි පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඉදිරි කටයුතු සඳහා ත්‍රිකුණාමලය, වරාය පොලීසිය වෙත භාර දෙන ලදි.

තවද, නාවික හමුදාව විසින් මෙලෙස අප මුහුදු සීමාව තුළ ධීවර යාත්‍රාවක් අනතුරකට හෝ ආපදාවකට ලක්වු අවස්ථාවලදී ඔවුන් බේරා ගැනීමට හා අවශ්‍ය සහන සැලසීමට නිරතුරුවම කටයුතු කරනු ලබයි.