ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම් වේ

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි ගංවතුර ආපදා තත්වයක් ඇති වන සේ සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ආපදාවක් ඇතිවිමට පෙර ඉවත් කිරීමට 2019 අගෝස්තු 30 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගංඟාවල ජල මට්ටම ඉහල යමින් පවතී. ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලමේ විශාල උණ පඳුරු, ගස්කොලං හා අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවට ඉදිරියේදී ඇති විය හැකි ගං වතුර අවධානමට පිළියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීම සඳහා නාවික හමුදාව කටයුතු කර ඇත.

මෙම ගංවතුර ආපදා තත්වය මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මගපෙන්වීම යටතේ දකුණු නාවික විධානය භාර අඥාපති, රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල්ගේ අධීක්‍ෂණයෙන් ‍දකුණු නාවික විධානයේ නාවිකයින් සහ කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිවිල් ජනතාවගේ ද සහාය ඇතිව මෙම කර්තව්‍ය සිදු කෙරුණු අතර, ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයට මුහුණ දීමට ජනතාව සමඟ අත්වැල් බැඳගැනිමට නාවික හමුදාව සූදානමින් සිටී.