සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2019 අගෝස්තු මස 31 වන දින ගාල්ල ගිංතොට වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව දකුණු නාවික විධානය විසින් වෙරළ තීරය පිරිසිදු කිරිම සහ වෙරළට ආවේණික ශාඛයන් වන මූදිල්ලා, පොල් සහ වැටකෙයියා පැළ රෝපණය කිරීමට කටයුතු කල අතර, වෙරළ තීරයේ තිබූ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට සමත් විය. මෙම වැඩසටහන සඳහා දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින්, ආගමික නායකයින් සහ ගිං ගඟ මෝය ප්‍රදේශයේ ගම් වාසීන් විශාල පිරිසක් සහභාගි විය.

වෙරළ තීරය සුරැකීම හා වන සම්පත ආරක්ෂා කිරීම සඳහා නිරන්තර කැපවීමෙන් හා අවධානයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව මතු පරපුරෙහි ප්‍රයෝජනය සඳහා මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.