තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දොළොස්දෙනෙකු (12) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 02 වන දින වනාතවිල්ලුව, කල්ලඩිය කළපු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දොළොස්දෙනෙකු (12) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය විසින් කල්ලඩිය කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දොළොස්දෙනෙකු (12) මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 38 ත් අතර වියෙහි පසුවන කල්පිටිය සහ පල්ලියවාසලපාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැල් හතක් (07) සහ ඩිංගි යාත්‍රා හතක් (07) සොයා ගෙන ඇති අතර, එම තහනම් දැල්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මෙවැනි තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිය විනාශ වීමට ලක්වී ඇති බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.