නාවික පවුල්වල දරුවන් සඳහා රොබෝ විද්‍යාව පිළිබඳව පුහුණු වැඩසටහනක් කොළඹදී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ගේ අධික්‍ෂණය ය‍ටතේ නාවික පවුල්වල දරුවන් සඳහා රොබෝ විද්‍යාව පිළිබඳ පුහුණු වැඩමුළුවක් ‘විනෝදය සඳහා රොබෝ විද්‍යාව’ මැයෙන් 2019 අගෝස්තු 26 වන දින සිට 30 වන දින දක්වා බටහිර නාවික විධාන මූලස්ථානයේදී පවත්වන ලදී.

ඒ අනුව, මෙම වැඩමුළුව අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද අතර, ඒ සඳහා සම්පත් දායකත්වය කොමදෝරු විදුලි හා විද්‍යුත් දෙපාර්තමෙන්තුව (බටහිර) විසින් සපයන ලදී. මෙම වැඩමුළුව මඟින් ළමුන්ගේ රොබෝ විද්‍යාව පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන දැනුම වර්ධනය කිරීම අපේක්‍ෂා කල අතර, එහිදී මූලික පරිපථ පිළිබඳ අවබෝධය, පුවරු අධාරයෙන් පරිපථ සකස් කර ගන්නා ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම, රොබෝවරු සහ අන්තර්ජාලය හා සම්බන්දිත උපාංග පිළිබඳ හඳුන්වාදීම, මෘදුකාංග සැලසුම් කිරීම සහ මූලික රොබෝ තාක්ෂණය පිළිබඳව දරුවන් හට අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලදී.

නාවික පවුල්වල ළමුන් 76 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා ඉතා උනන්දුවෙන් හා උද්යෝගයෙන් යුතුව සහභාගී වූ අතර, පැමිණ සිටි ළමුන් සඳහා එහිදී සහතිකපත් ප්‍රදානයක් ද සිදු කෙරුණි.