‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය 2019 සැප්තැම්බර් 04 වන දින සිට 07 වන දින දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේදී අති සාර්ථකව නිමාවට පත්විය.

මෙම තරඟාවලිය සඳහා බං‍ගලාදේශ සහ ඉන්දියානු නාවික හමුදා විද්‍යාපිඨයන්හි පුහුණුවන නිලධාරින්, ශ්‍රී ලංකා ගුවන් සහ යුද්ධ හමුදාවේ පුහුණුවන නිලධාරීන්, ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පුහුණුවන නිලධාරීන් මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් ද සහභාගි වූ අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල්, නිරාජ ආටිගලගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, සැන්ඩිබේ පිහිටි නිලධාරි ආයතනයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය දින හතරක් පුරා විවෘත සහ කුසලාන ශූරතා වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැති අතර, එහිදී විවෘත කාණ්ඩයේ ශූරතාවය ඉන්දියානු නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් හිමිකර ගත් අතර, එහි කුසලාන ශූරතාවය නාවික හා සාගරික විද්‍යාපිඨයට අනුයුක්ත පුහුණුවන නිලධාරීන් හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක් ද සහභාගිවි සිටියහ.