ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ 52 වන සංවත්සරය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක්

2019 සැප්තැම්බර් 08 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනයේ 52 වන සංවත්සරය නිමිත්තෙන් ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේන්ද්‍ර වීරරත්න ඇතුළු නැව් මුළුව විසින් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, ආගමික වැඩසටහන් මාලාවේ හින්දු ආගමික උත්සවය කොච්චිකඩේ කදිරේසන් කෝවිලේදී පැවැති අතර, කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේදී මුස්ලිම් ආගමික උත්සවය පවත්වන ලදී. තවද, ක්‍රිස්තියානි දේව මෙහෙය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රධාන පරිපාලන පියතුමා වන ජුඩ් රාජ් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රදානත්වයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්විණි.

2019 සැප්තැම්බර් 06 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාන සෙත් පිරිත් සජ්ජායනාවක් පැවැති අතර, පසුදින ගරුතර සංඝයාවහන්සේලා 30 නමක් විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක් පැවැත්විණි. අනතුරුව සංඝයාවහන්සේලා විසින් මියගිය රණවිරුවන් හට පින්අනුමෝදන් කිරීමත්, ආබාධිත රණවිරුවන් සඳහා ඉක්මන් සුවය පැතීමත්, නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික පුද්ගලයන් හට සෙත්පතමින් ආශිර්වාද කිරීමත් එහිදී සිදු කරන ලදී.

මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ඇතුළු බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.