මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (02) කොටු කර ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 07 වන දින මාතර, වලස්මුල්ල සහ මන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ වැටලීම්වලදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ පට්ටිපොල, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වලස්මුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී බෝවල හන්දියේදී සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඇති අතර, ඔහු පරික්‍ෂා කිරීමේදී ඔහු ලඟ තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 01.05 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව අනාවරණය කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන මාතර, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

තවද, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මන්නාරම දුම්රිය ස්ථානය අසලදී කේරළ ගංජා ග්‍රෑම් 75 ක් සමඟ සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වන එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරළ ගංජා ඉදිරි විමර්ශන කටයුතු සඳහා පිළිවෙලින් වලස්මුල්ල සහ මන්නාරම පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙලෙස මත්ද්‍රව්‍ය ලඟ තබා ගන්නා ලද පුද්ගලයින් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.