කේරළ ගංජා කිලෝග්‍රෑම් 01.94 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 සැප්තැම්බර් 08 වන දින හම්බන්තොට, සමෝදාගම ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01.94 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ ගොන්නෝරුව පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට, සමෝදාගම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැකකටයුතු කැබ් රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම කැබ් රථය පරීක්‍ෂාවට ලක් කිරීමේදී කැබ් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් ලඟ තිබී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත.

මෙම සැකකරුවන් වයස අවුරුදු 38 වන වියෙහි පසුවන වීරකැටිය සහ විතාරන්දෙණිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, කැබ් රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.