වව්නියාව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණය කළ දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කළ දිවා සුරැකුම් මධ්‍යස්ථානය අද (2019 සැප්තැම්බර් 12) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.

ඒ අනුව, නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් මත උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය ගේ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය උතුරු මැද නාවික විධානයේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලදී.

මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය මඟින් රෝහල් කාර්ය මණ්ඩලයේ දුවා දරුවන් හට ආරක්‍ෂාව සැලසෙන අතර, මෙම මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් රෝහල් කාර්යය මණ්ඩලය සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික ‍හමුදාව වෙත පිරිනමන ලදී. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් දිවා සුරැකුම් මධ්‍යාස්ථාන පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීමට ද කටයුතු කරන ලදී.

එම අවස්ථාව සඳහා වව්නියාව දිස්ත්‍රික් ලේකම්, උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා ‘පණ්ඩුකාභය’ ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් සුමිත්‍ර ෆොන්සේකා රෝහල් කාර්ය මණ්ඩලය සහ උතුරු මැද නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් පිරිසක් සහභාගීවී සිටියහ.