අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය 2019 සාර්ථක ලෙස නිමාවට පත් වේ

නාවික පුද්ගලයින්ගේ ගොඩබිම් සටන් පුහුණුව සමබන්ධ වෘත්තීය දැනුම වර්ධනය කර ගැනීම අරමුණු කර ගනිමින් පවත්වනු ලැබූ නාවික හමුදා අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය 2019 සැප්තැම්බර් 03 වන දින සිට 12 වන දින දක්වා උතුරු මැද නාවික විධානය‍ට අයත් පූනෑව, ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩි පිටියේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

මෙම තරඟාවලිය ‘අංශයට එක්වීමට පෙර පුහුණුව’ සහ ‘විශේෂ මෙහෙයුම් කණ්ඩායම’ ආදි වශයෙන් අධියර දෙකක් යටතේ පැවැත්විණි. ‘අංශයට එක්වීමට පෙර පුහුණුව’ යටතේ පැවැති තරඟ කාණ්ඩයේ ශූරතාවය දකුණු නාවික විධානය හිමිකර ගත් අතර, එහි අනුශූරතාවය බටහිර නාවික විධානය හිමිකර ගන්නා ලදී. තවද, ‘විශේෂ මෙහෙයුම් කණ්ඩායම’ යටතේ පැවැති තරඟ කාණ්ඩයේදී ශූරතාවය උතුරු නාවික විධානය හිමිකර ගත් අතර, එහි අනුශූරතාවය හිමිකර ගන්නා ලද්දේ බටහිර නාවික විධානය විසිනි.

ඒ අනුව අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලියේ සමාප්ති උත්සවය සහ ත්‍යාග ප්‍රදානොත්සවය 2019 සැප්තැම්බර් 12 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් පැවැති අතර, එම අවස්ථාව සඳහා ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් ෆ්රෙඩ් සෙනවිරත්න සහ උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නාවික විධානයන්ට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.

එහිදී තරඟාවලිය සඳහා සහභාගී වූ නාවික පුද්ගලයින් දක්වන ලද සිය දක්‍ෂතාවයන් සමාප්ති උත්සවය සඳහා පැමිණ සිටි ප්‍රධාන අරාධිත අමුත්තා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් ගේ ඇගයිමට ලක් විය. එමෙන්ම සමාප්ති උත්සවය, ශ්‍රී ලංකා නාවිකා නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ ගොඩබිම් පුහුණු පාසලේ උපදේශකයින් විසින් පවත්වන ලද ප්‍රභූ ආරක්‍ෂක සංදර්ශනයකින් සහ නාවික හමුදා මැරීන් බලකා සාමාජිකයින් විසින් පවත්වන ලද නාගරික සටන් සංදර්ශනයකින් සමන්විත වූ අතර, එය පැමිණ සිටි සියළුදෙනාගේ ප්‍රශංසාවට ලක් වන ලදී.