ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයෙන් පසු ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ නෞකාවන් යලි දිවයිනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2019) සහභාගී වීම සඳහා 2019 සැප්තැම්බර් මස 05 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යන නෞකාවන් දිවයිනට ලඟා විය.

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව 2019 සැප්තැම්බර් 14 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනය වෙතත්, ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාව 2019 සැප්තැම්බර් 15 වන දින කොළඹ වරාය වෙතත් සේන්දු වූ අතර, එහිදී නාවික සම්ප්‍රදායානුකූලව නාවික හමුදාව විසින් එම නෞකා ද්විත්වය පිළිගන්නා ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව පිළිගැනීමේ අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ඇතුළු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාව පිළිගැනීමේ අවස්ථාව සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත නිලධරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී, නෞකාවන් පිළිගැනීමේ අවස්ථාවන් සඳහා සහභාගී වූ නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් විසින් පුහුණු සංචාරය සඳහා සහභාගී වූ ධජ නිළධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සහ නෞකාවන්හි අණදෙන නිලධාරීන් වන ‍කපිතාන් නලින් නවරත්න සහ කපිතාන් සංජිව ප්‍රේමරත්න හමුවී පුහුණු සංචාරයේ ප්‍රගතිය පිළිබඳ සුහද පිළිසදරක ද නිරත විය.

මෙම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් මස 07 වන දින සිට 12 වන දින දක්වා ඉන්දියාවේ විශාකපට්නම් හිදී පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් සමඟ ඉන්දියානු නාවික නෞකා ‘කුක්රි’ සහ ‘සුමේධා’ යන නෞකාවන් එක් වීය. ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරමින් නැගෙනහිර නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් අතුල් කුමාර් ජෙන් සහ නැගෙනහිර නාවික විධානය භාර ප්‍රධාන මාණ්ඩලික නිලධාරී (මෙහෙයුම්), රියර් අද්මිරාල් පුනේට් චෘධා යන ජ්‍යේෂ්ඨ නිලධාරින් මෙම නාවික අභ්‍යාසය සඳහා සහභාගී වූ අතර, එය වෙරළ සහ මුහුද ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම් වලින් සමන්විත වීය. එහිදී නෞකා ස්ථානගත කිරීම, සමූහයක් වශයෙන් යාත්‍රා කිරීම, පණිවිඩ හුවමාරුව, නෞකා අතර පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරු කිරීම සහ හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාසයක් ද පැවැත්විණි.