කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 14 වන දින වත්තල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ ඒකකය එක්ව වත්තල, ඕලියමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී සැක කටයුතු ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් නිරීක්‍ෂණය කර ඇති අතර, අදාල ත්‍රිරෝද රථය සහ යතුරු පැදිය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා ග්‍රෑම් 800 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. එහිදී ත්‍රිරෝද රථයේ සහ යතුරු පැදියේ ගමන්ගත් සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන් වයස අවුරුදු 21, 23 සහ 24 වන වියෙහි පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම සැකකරුවන්, කේරළ ගංජා ප්‍රමාණය, යතුරු පැදිය සහ ත්‍රිරෝද රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.