අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ හට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලය ප්‍රදානය කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන ගෞරවනීය නිලයෙහි අභිෂේක ගැන්වීමේ උත්සවය අද (2019 සැප්තැම්බර් 19) කොළඹ වරාය පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙහිදී හිටපු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක ‘මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්’ යන ගෞරවනීය නිලයෙන් අභිෂේක ගැන්වීම ද සිදු වීය.

ඒ අනුව අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ 1971 වසරේ අගෝස්තු මස 01 වන දින ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නිත්‍ය නාවික හමුදාවට බැඳි 1974 වසරේ ‍පෙබරවාරි 01 වන දින උප ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව ඇත. එතැන් සිට දේශිය සහ විදේශිය පාඨමාලාවන් සාර්ථකව හදාරා ක්‍රමිකව උසස්විම් ලැබ 2005 සැප්තැම්බර් මස 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 15 වන නාවික හමුදාධිපති ලෙස පත්විමේන් පසු වයිස් අද්මිරාල් නිලයට උසස් වීය. එමෙන්ම, 2009 මැයි මස 18 වන දින මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයත් සමඟම අද්මිරාල් නිලයට උසස් කිරී‍මෙන් පසු නාවික හමුදා ඉතිහාසයේ සක්‍රීය සේවයේ යෙදී සිටිය දී එම නිලයට පත්වූ ප්‍රථම නිලධාරියා වීමේ භාග්‍යය ද ඔහුට හිමි විය.

2009 වර්ෂයේ මැයි මස අවසන්වූ මානුෂීය මෙහෙයුමේ කාලසීමාව තුළ දී සහ රට ජාතිය වෙනුවෙන් ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘ භූමියෙන් තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීතභාවය, ජාතියට පුදකල ප්‍රශංසනීය සේවය හා සිදුකල අද්විතීය මෙහෙවර අගයනු වස් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ‍සන්නද්ධ හමුදාවන් හි සේනාධිනායක, අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන ගෞරවනීය නිලය මෙලෙස ප්‍රදානය කරන ලදී.

එම අවස්ථාව සදහා ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, හිටපු නාවික හමුදාධිපතිවරු, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, යුද්ධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.