ඉන්ධන නෞකාවක තුවාල ලැබූ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

පෞද්ගලික සමාගමකට අයත් ඉන්ධන නෞකාවක සේවය කරමින් සිටි තුවාල ලැබු නාවිකයෙකු 2019 සැප්තැම්බර් 19 වන දින කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට‍ රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව, කොළඹ වරායේ ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව පිළිබඳ ඒකකය (ISPS) මඟින් සිදු කරන ලද දැනුම්දීමක් මත බටහිර නාවික විධානය විසින් කඩිනමින් වේග ප්‍රහාරක යාත්‍රාවක් එම රෝගියා රැගෙන ඒම සඳහා පිටත්කර යැවීමට කටයුතු කරන ලදී. කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 12 ක් පමණ දුරකදී තුවාලකරු වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කෙරුණි. තුවාල ලැබූ පුද්ගලයා නිරුපද්‍රිතව කොළඹ වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු ගිලන් රථයක් මඟින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාව මෙලෙස ශ්‍රී ලංකාවට අයත් සෙවීම් සහ මුදවාගැනීමේ කලාපය තුල අනතුරට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහයවීම සඳහා නිරතුරුවම කටයුතු කරන අතර, ඒ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් ද සිටියි.