නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 470 සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 21 වන දින ඉරණතිව් දුපතට නැගෙනහිරින් සහ කිලිනොච්චිය වලෙයිපාඩු වලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු මැද නාවික විධානය විසින් ඉරණතිව් දුපතට නැගෙනහිරින් සහ කිලිනොච්චිය වලෙයිපාඩු වලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිම් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරික්‍ෂණය කර ඇත. එහිදී සැක කටයුතු පාර්සල් 07 ක් සොයාගෙන ඇති අතර, එම පාර්සල් පරික්‍ෂා කිරීමේදී එහි තුල තිබි බීඩී කොළ කිලෝග්‍රෑම් 470 ක් සොයා ගැනීමට සමත්ව ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

ඒ අනුව, මෙම මාසය තුල නාවික හමුදාව විසින් උතුරු මැද නාවික විධානනයට අයත් බල ප්‍රදේශයන්හි සිදු කරනු ලැබූ මෙහෙයුම් තුලින් බීඩිකොළ කිලෝග්‍රෑම් 2000 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත. තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකිවී ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.