නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 21 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, නොර්වේ දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි සැක කටයුතු ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී එම යාත්‍රාව පරික්‍ෂාවට ලක් කර ඇත. ඒ අනුව මෙම පුද්ගලයින් ධීවර කාර්මානතයේ නියැලිම සඳහා යොදාගත් ධිවර යාත්‍රාව ධීවර කටයුතු සඳහා ලියාපදිංචි නොකරන ලද යාත්‍රාවක් බවට කරුණු අනාවරණය කරගෙන ඇත. එහිදී මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී තහනම් දැලක් ද නාවික හමුදාව විසින් සොයා ගැනීමට සමත්ව ඇත.

ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 27 ත් අතර වයස්වල පසුවන මුතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඒ අනුව නාවික හමුදා බාරයට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහාකර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.