නීති වි‍රෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 22 වන දින යාපනය, තොණ්ඩමනාරු ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කල පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, තොණ්ඩමනාරු, අක්කරෙයි වෙරළ ආශ්‍රිතව පිහිටි ළමා උද්‍යානය අසලදී සැක කටයුතු වෑන් රථයක් නාවික හමුදාව විසින් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී වෑන් රථයේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු පරික්‍ෂාවට ලක් කර ඇත. සිදු කල වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ පුද්ගලයෙකු බව කරුණු අනාවරණය කර ගෙන ඇති අතර, එහිදී මෙම සැකකරු නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කෙරුණි. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන ශ්‍රී ලංකික පුද්ගලයෙකු බවට හඳුනා ගෙන ඇත.

තවද, අනෙක් පුද්ගලයින් පස්දෙනා (05) නීති විරෝධී ලෙස මෙරටට පැමිණි පුද්ගලයා රැගෙන යාම සඳහා පැමිණි පුද්ගලයින් බව ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වූ අතර, එහිදී එම පුද්ගලයින් හා වෑන් රථය නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 31 ත් අතර වයස්වල පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් සැකකරුවන් සහ වෑන් රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා වැල්වැටිතුරෛයි පොලිසිය වෙත බාර දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හා වෙරළ තීරය වටා ක්‍රියාත්මක වන මෙහෙයුම් හේතුවෙන් කිසිවෙකුටත් නීති විරෝධී සංක්‍රමණයන් සිදු කිරීමට කිසිදු විටෙක ඉඩ ප්‍රස්ථාව නොලැබෙන අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.