‘The Maritime Standard Awards 2019’ අවසන් ජයග්‍රාහකයින් අතරට ශ්‍රී ලංකා නාවික හමුදාව එක්වේ

‘The Maritime Standard Awards 2019’ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ ආයතනික සමාජ වගකිම් යන අංශයෙන් අවසන් ජයග්‍රාහකයින් අතරට ශ්‍රී ලංකා නාවික හමුදාව තේරීපත්ව ඇත.

Flagship Events LLC මඟින් සංවිධානය කරනු ලබන ‘The Maritime Standard Awards 2019’ සම්මාන ප්‍රදානෝත්සවය එළබෙන ඔක්තෝබර් 21 වන දින ඩුබායි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති, එමිරේට්ස් ගුවන් සේවා සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි, ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මැක්ටොම් මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් ඩුබායිහිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, මෙවර උත්සවය සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විවිධ ආයතන සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගීවිමට නියමිතව ඇත.

වෘත්තිය නිපුනත්වයෙන් ඉහල, විවිධ හැකියාවන්ගෙන් පරිපුර්ණ ශක්තිමත් ශ්‍රම බලකායකින් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදාව පොදු මහජනතාවගේ ජීවන තත්වය ඉහල නැංවිම සඳහා සමාජ සුභ සාධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම, තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිශ්පාදනය කර බෙදාහැරීම, දුෂ්කර ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරු සංවිධානය කිරීම, ගංවතුර ආපදා සහන කටයුතු වලට සහභාගීවීම, මුහුදේදී ආපදාවට පත් ධීවර ප්‍රජාවට සහාය වීම මෙන්ම නීල හරිත පාරිසරික සංකල්පය ජනතාව අතර ප්‍රචලිත කිරීම වැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නන්වා ඇත.