‘දියකාවා’ යුද අභ්‍යාසය නැරඹීම සඳහා නාවික හමුදාධිපතිතුමන් එක් වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 10 වන වරටත් සංවිධානය කරන ලද “දියකාවා” ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රිවිධ හමුදා සහ විදේශීය හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු පළාත් ආවරණය වන පරිදි පැවැත්විමට කටයුතු යොදා තිබුණී. එහි උද්වේගකර අවසන් අභ්‍යාසය අද (සැප්තැම්බර් 23) ත්‍රිකුණාමලය, කුච්චවෙලි ප්‍රදේශයේදී පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහභාගී වීය.

තවද, එම අභ්‍යාසය නැරඹිම සඳහා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති, එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුළු ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා නාවික පුද්ගලයන් 400 දෙනෙක්, යුද හමුදා සාමාජිකයන් 2400 දෙනෙක් සහ ගුවන් හමුදා පුද්ගලයින් 200 දෙනෙක් සහභාගී වූහ. එමෙන්ම, මලයාසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, බංගලාදේශය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, පකිස්තානය, එක්සත් රාජධානීය, සහ සිම්බාබ්බේ යන රටවල් නියෝජනය කරමින් හමුදා පුද්ගලයින් රැසක් ද සහභාගී වීය.

මෙම බහු පාර්ශ්වික ක්ෂේත්‍ර යුද අභ්‍යාසය මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පසුගිය සැප්තැම්බර් මස 04 වන දින ආරම්භ කරන ලද අතර, මිත්‍ර හමුදාවන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය සහ මෙහෙයුම් හැකියාව තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය සඳහා නාවික පුද්ගලයන්ගේ දායකත්වය මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති, රණරිසි සහ රණජය යන නෞකාවන්,වේග ප්‍රහාරක යාත්‍රා, වෙරළාරක්ෂක මුර යාත්‍රා සහ සෙඩ්රික් යාත්‍රා ද සහභාගී වන ලදී.