තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් හයදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 23 වන දින කඩියවැල්ල තුඩුවට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් කඩියවැල්ල තුඩුවට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශය‍ ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් හයදෙනෙකු (06) මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් අවුරුදු 28 ත් 45 ත් අතර වයස් වල පසුවන ඊච්ලම්පත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, පිටත දහන යන්ත්‍රයක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික බාරයට ගෙන ඇති අතර, එම තහනම් දැල, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න සහ පුද්ගලයින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මෙවැනි තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිය විනාශ වීමට ලක්වී ඇති බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.