මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 65 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 23 වන දින කච්චතිව් දුපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ කිලෝග්‍රෑම් 65 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු නාවික විධානය විසින් කච්චතිව් දුපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිම් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සලයක් නිරික්‍ෂණය කර ඇත. එහිදී එම පාර්සලය පරික්‍ෂා කිරීමේදී එහි තිබී කුඩා පාර්සල් 07 ක් සොයාගෙන ඇති අතර, එම පාර්සල් තුල තිබි බීඩී කොළ කිලෝග්‍රෑම් 65 ක් සොයා ගන්නා ලදී.

තවද, නාවික හමුදාව සිදු කරනු ලබන අඛණ්ඩ මුර සංචාර හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම බීඩී කොළ තොගය මුහුදේ අතහැර දමා ‍ගොස් ඇති බවට සැක පළ කරන අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 34000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.