අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.

ඒ අනුව දකුණු සහ බස්නාහිර යන පළාත් සඳහා නාවික හමුදාව සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, ඒ සඳහා මේ වන විට නාවික හමුදා ඩිංගි යාත්‍රා 23 ක් සහිත නාවික සහන කණ්ඩායම් 24 ක් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අවිත්තාව ප්‍රදේශයේ පාලමක් හරහා අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී තිබූ අතර, ඒ සඳහා සහන කණ්ඩායමක් යොදවා ජලය බැස යාම කඩිනම් කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයේ වක්වැල්ල පාලම හරහා අපද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව ඇති අතර, එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා සහන සැලසීමේ කණ්ඩායම් මේවන විට අනුයුක්ත කර ඇත.

තවද, නාවික හමුදාව විසින් සිවිල් වැසියන් දහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථානයන් වෙත ප්‍රවාහනය කිරීමට සමත්ව ඇති අතර, ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් 93 දෙනෙකු බේරාගෙන ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට ද කටයුතු කරන ලදී. එමෙන්ම, තව දුරටත් අයහපත් කාළගුණික තත්වයද නොතකමින් නාවික හමුදාව විසින් සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතී.