නාවික හමුදාව වක්වැල්ල පාලම යට සිරවී තිබූ විශාල දැව කොටස් ඉවත් කරයි

නවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 26) ගාල්ල වක්වැල්ල පාලමේ ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී.

දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමේ යට ප්‍රදේශය ශාක කඳන් මෙන්ම අපද්‍රව්‍ය විශාල වශයෙන් සිරවී ජලය බැසයාමට නොහැකි සේ අවහිර වී පැවතිණි. එම හේතුවෙන් පාලම අවට ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමක් පැවතිණි.

ඒ අනුව දකුණු නාවික විධානය විසින් කිමිදුම් අංශයේ සහ මැරීන් අංශයට අනුයුක්ත කණ්ඩායම් දෙකක් කඩිනමින් එම ස්ථානය වෙත පිටත් කර යවන ලදී. එහිදී, ඔවුන් මහත් පරිශ්‍රමයක් දරමින් අවහිර වී තිබූ ශාක කොටස්, දැව කඳන් මෙන්ම සිරවී තිබූ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කළහ. එමඟින්, ප්‍රදේශයට බලපා තිබූ ගංවතුර අවධානම මුළුමනින්ම ඉවත් කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබිණි.