උතුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී බීඩී කොළ සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 27) උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 27 ක් සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානය විසින් අනලතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ කිලෝග්‍රෑම් 1316.6 ක් සමඟ මෙම ජාවාරම්කරුවන් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, ඒවා ඩිංගි යාත්‍රාවක් මඟින් මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 සහ 32 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම බීඩී කොළ තොගය, ඩිංගි යාත්‍රාව සහ පුද්ගලයින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

ඒ අනුව මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද සහ නීති විරෝධී ලෙස ලඟ තබා ගත් බීඩී කොළ කිලෝග්‍රෑම් 38,000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත. තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකිවී ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.