උතුරු මුහුදේ සිදු කල තවත් මෙහෙයුමකදී බීඩී කොළ කිලෝග්‍රෑම් 743.8 ක් සොයා ගනී

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 27 වන දින උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 27 ක් සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගන්නා ලද අතර, එහිදී නාවික හමුදාව විසින් උතුරු මුහුදු ප්‍ර‍දේශයේ ආශ්‍රිතව තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී කෝවිලම් ප්‍රදීපාගාරයට බටහිර දෙසින් වූ මුහුදේදී තවත් බීඩී කොළ සහිත පාර්සල් 12 ක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි විය.

මෙම පාර්සල් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇති අතර, එම පාර්සල් තුල තිබී බීඩී කොළ කිලෝග්‍රෑම් 743.8 ක ප්‍රමාණයක් හමුවී ඇත. නාවික හමුදාව සිදු කරනු ලබන අඛණ්ඩ මුර සංචාරයන් හේතුවෙන් මෙම බිඩී කෙළ තොගය ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා ‍පලා ගොස් ඇති බවට සැක පළ කෙරෙන අතර, ඒ අනුව 2019 සැප්තැම්බර් 27 වන දින උතුරු මුහුදේදී බිඩී කොළ කිලෝග්‍රෑම් 2060.4 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වීය.

එම බීඩී කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, දිවයින වටා වූ සාගර කලාපය භාවිතා කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර අවධානයෙන් සිටී. එබැවින් ජාවාරම්කරුවන් හට සාගර කලාපය භාවිතා කර කිසිදු නීති විරෝධී ක්‍රියාවක නියැලීමට අවස්ථාවක් හිමි නොවනු ඇත.