නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 27 වන දින ගාල්ල, දෙවැට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ හියාරේ, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගාල්ල, දෙවැට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මේහෙයුමකදී නීති විරෝධි දුම්වැටි 6560 ක් සොයා ගැනීමට සමත් වූ අතර, ඒවා අලෙවි කිරීම සඳහා නිවසක් තුල සඟවා තිබියදී මෙලෙස සොයාගෙන ඇත. එහිදී වයස අවුරුදු 48 ක් වන එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

එම සැකකරු සහ නීති විරෝධී දුම්වැටි තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල, වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම්වල නිරත වන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි.