නිල්වලා ග‍ඟේ බණ්ඩත්තර පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා සහාය

මාතර, බණ්ඩත්තර ප්‍රදේශයේ නිල්වලා ගංගාව හරහා ඇති පාලමේ සිරවි තිබූ දැව කඳන් සහ කුණුරොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කර ගංවතුර අවධානම මැඩපැවැත්වීමට නාවික හමුදාව 2019 සැප්තැම්බර් 27 වන දින කටයුතු කරන ලදී.

‍‍‍මේ දිනවල ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කඹුරුපිටිය මාර්ගයේ බණ්ඩත්තර ප්‍රදේශයෙන් ගලා බසින නිල්වලා ගඟ හරහා වැටී ඇති පාලම යට ශාක කඳන් මෙන්ම අපද්‍රව්‍ය විශාල වශයෙන් සිරවී ජලය බැසයාමට නොහැකි සේ අවහිර වී පැවතිණි. එම හේතුවෙන් පාලම අවට ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමක් ද පැවතිණි.

‍‍‍එම අවදානමට පිළියමක් වශයෙන් අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීම සඳහා දකුණු නාවික විධානය විසින් නාවික හමුදා කිමිදුම් සහ මැරීන් අංශයන්ට අනුයුක්ත කණ්ඩායම් දෙකක් කඩිනමින් එම ස්ථානය වෙත පිටත් කර යවන ලදී. එහිදී, ඔවුන් අවහිර වී තිබූ ශාක කොටස්, දැව කඳන් මෙන්ම සිරවී තිබූ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කළහ. එමඟින්, ප්‍රදේශයට බලපා තිබූ ගංවතුර අවධානම මුළුමනින්ම ඉවත් කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබිණි.