ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදා අතර පැවති වෛද්‍ය දැනුම හුවමාරු වැඩසටහන ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය හා එක්ව ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ මැරීන් පාසල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලද ද්විපාර්ශවික වෛද්‍ය දැනුම හුවමාරු වැඩසටහන 2019 සැප්තැම්බර් 27 දින සාර්ථක ලෙස නිමාවට පත් විය.

2019 සැප්තැම්බර් 23 වන දින ආරම්භ කරන ලද මෙම වැඩසටහන සඳහා එක්සත් ජනපද මැරීන් බලකායට අනුයුක්ත වෛද්‍ය නිලධාරීන් 08 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් නිලධාරීන් 04 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයින් 40 දෙනෙකු සහභාගි විය. එහිදී එක්සත් ජනපද මැරීන් වෛද්‍ය කණ්ඩායම විසින් යුද්ධයේදී විවිධ තත්වයන් යටතේ වෛද්‍ය විද්‍යාව මෙහෙයවිය යුතු අකාරය පිළිබඳ ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් සමඟ හුවමාරු කර ගන්නා ලදී.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් විසින් “ශ්‍රී ලංකාවේ සර්පයන්” පිළිබඳව එක්සත් ජනපද මැරීන් බලකා නිලධාරීන් දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාවට ආවේණික වූ විෂ සහිත හා විෂ නොවන සර්පයන් හැසිරවිය යුතු ආකාරය සහ සර්ප දෂ්ඨනයකදී ලබා දිය යුතු ප්‍රථමාධාර පිළිබඳව ද එහිදී ඔවුන්ව දැනුවත් කරන ලදී.‍‍‍