තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 02) අළුයම ත්‍රිකුණාමලය, පූනඩි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රීකුණාමලය, පූනඩි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් නවදෙනෙකු (09) මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 53 ත් අතර වියෙහි පසුවන මාවඩිචේනි සහ ඊචලම්පත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, ඩිංගි යාත්‍රාදෙකක්, පිටත දහන යන්ත්‍ර දෙකක් සහ අනෙකුත් ධීවර ආම්පන්න සොයා ගෙන ඇති අතර, එම තහනම් දැල, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ අනෙකුත් ධීවර ආම්පන්න සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දෙන ලදී.

මෙවැනි තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිය විනාශ වීමට ලක්වී ඇති බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.