ඉඳුරාම බඳවා ගත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්/නිලධාරිණියන් 36 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද (ඔක්තෝම්බර් 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ඉඳුරාම බඳවා ගනු ලැබූ නිලධාරීන් ස්වේච්ඡා, ඉංජීනේරු, නැව් බඳ කාර්මික, තොරතුරු තාක්ෂණ, විධායක, සැපයුම්, දන්ත වෛද්‍ය හා වාදක යන අංශයන්ට අයත් විය.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන්, ප්‍රථමයෙන් නිලධාරීන්හට සිය සුභාසිංශන එක් කළ අතර, නාවික හමුදා නිලධාරීයෙකු වශයෙන් ඉදිරියේදී තම මාතෘභූමියට ඉටුවිය යුතු යුතුකම් මැනවින් ඉටු කිරීමටත් නාවික හමුදාවේ කීර්තිනාමය මෙන්ම අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් ගෞරවාන්විත සේවයක් ඉටු කිරීමටත් අදිටන් කරගත යුතු බව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, දූපත් රාජ්‍යයක් වන අපට සාගරය සහ සාගර සම්පත් ඉතාමත් වැදගත් බවත් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් නාවික හමුදාවක් තිබිය යුතු අතර, ඒ සඳහා ඉදිරියේදී නාවික නිලධාරීන් වශයෙන් ඔවුන් හට විශාල වගකීමක් පැවරෙන බව ද එතුමා අවධාරණය කරන ලදී.

දශක 3 ක් පමණ පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මෙහෙයුම් සඳහා දිවි හිමියෙන් කටයුතු කළ සියළුම රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගය අද අප ලබන නිදහසට හේතු වී ඇති බවත්, ඔවුන් එසේ ආරක්ෂා කර දුන් මාතෘ භූමිය ඉදිරියටත් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීමට දායක වන ලෙසත් එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. විශේෂයෙන්ම හමුදා පුහුණුවක් ලැබීම පහසු කාර්යයක් නොවන බවද ඒ සඳහා කායික ශක්තියට වඩා මානසික ශක්තිය වැදගත් බවද නාවික හමුදාධිපතිතුමන් පෙන්වා දෙන ලදී. අවසාන වශයෙන් එතුමා, මාතෘ භූමියට සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාවට භාර දීම සම්බන්ධයෙන් සමස්ථ නාවික හමුදාව වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කිරීමට ද කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල්, නිශාන්ත උළු‍ගේතැන්න, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජනරාල් පුද්ගල රියර් අද්මිරාල් මුදිත ගමගේ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජනරාල් පුහුණු රියර් අද්මිරාල් නන්දන ජයරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම නව නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.