අනතුරට පත් විදේශිය රුවල් යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් ඔක්තෝම්බර් 05 වන දින හම්බන්තොට වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

ඒ අනුව දකුණු නාවික විධානය විසින් හම්බන්තොට වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ප්‍රංශයට අයත් (SY-LESSIAMOIS) නැමැති විදේශිය රුවල් යාත්‍රාව එන්ජිමක ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් විපතට පත්ව තිබියදී ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි. මෙම රුවල් යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට නාවික හමුදාවට ලද තොරතුරක් මත එම යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වු නාවික හමුදාව වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර ඇති අතර, එම වේග ප්‍රහාරක යාත්‍රාව මගින් මෙම රුවල් යාත්‍රාවේ සිටි නාවිකයින් සහ යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස හම්බන්තොට වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි. මෙම යාත්‍රාව ශ්‍රි ලංකා මුහුදු සිමාව හරහා ඉන්දුනීසියාව බලා සංචාරය කරමින් සිට ඇති අතර, අනතුරට ලක්වන විට යාත්‍රාවේ එක් කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු සිට ඇත.

තවද, ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධිවර ප්‍රජාවට සිදුවන ඕනෑම උපද්‍රවයකදී සෙවිමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා නාවික හමුදාව කටයුතු කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordinating Centre) මඟින් සිදු කරනු ලබන දැනුම්දීම් වලට අනුව නාවික හමුදාව දේශිය සහ විදේශිය නාවික හා ධීවර ප්‍රජාව ආපදා තත්වයන්ගෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් ඉදිරියටත් සිදු කරනු ලබයි.