වයඹ මුහුදු තීරයෙන් බීඩිකොළ කිලෝග්‍රෑම් 881 සොයා ගැනේ

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2019 ඔක්තෝබර් 06 වන දින කල්පිටිය, කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩිකොළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත යාත්‍රාවක් එක්ව කල්පිටිය, කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී පාර්සල් 27 ක බහා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 881 ක් සමඟ සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 37 සහ 31 වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත. මෙම බීඩී කොළ තොගය මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සහ කර ඇති අතර, එම සැකකරුවන් සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .

තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකිවී ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.