කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2019 ඔක්තෝබර් 07) ඩෙල්ෆ්, මනලඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගන්නා ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් ඩෙල්ෆ්, මනලඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිවසක් තුල සඟවා තිබූ මෙම කැස්බෑ මස් කිලෝග්‍රෑම් 16.1 සමඟ පුද්ගලයින් ‍මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24, 57, 60 සහ 66 ක් වන එම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ කැස්බෑ මස් තොගය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා ඩෙල්ෆ්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, මෑතක සිට වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින‍ මෙම කැස්බෑවන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් වන ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

විශේෂයෙන් දකුණු සහ නැගෙනහිර මෙන්ම ගිණිකොන වෙරළ තීරයන් කැස්බෑවන් විශාල වශයෙන් බිත්තර දමනු ලබන ප්‍රදේශ ලෙස නාවික හමුදාව මේවන විට හඳුනාගෙන ඇති අතර, පසුගිය වසර දෙකක පමණ කාලය තුල නාවික හමුදාව මඟින් කැස්බෑ පැටවුන් විශාල ප්‍රමාණයක් සංරක්‍ෂණයෙන් පසුව සාගරයට මුදාහැරීමට කටයුතු කර ඇත. එමෙන්ම මෙවැනි සත්වයින් සුරක්‍ෂිත කිරීම ශ්‍රී ලාංකීක අප සැමගේ වගකිමක් වන අතර, ඒ සඳහා අප සැම එක්ව කටයුතු කළ යුතුව ඇත.