නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 07 වන දින අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය විසින් අරිප්පු වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදී ඩයිනමයිට් යොදා ගනිමින් ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 471 ක් සමඟින් පුද්ගලයින් හත්දෙනෙකු (07) මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම පුද්ගලයින් පිරිස නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීමෙන් අනතුරුව වෙරළ තීරයට පැමිණිමේදී නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් අවුරුදු 26 ත් 48 ත් අතර වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා දෙක සහ මසුන් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි. තවද, මෙවැනි පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මත්ස්‍ය අභිජනන පරිසර පද්ධතිය, ඉතා කුඩා මත්ස්‍යන්, ජලජ ජීවීන් හා ජලජ පැලෑටි ද විනාශ වන බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.