ඉස්සන් ගොවිපලක සිරවී සිටි‍ කැස්බෑවෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 09 වන දින මණ්ඩතිව්, පල්ලිකුඩා ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක සිරවී සිටි කැස්බෑවෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් සිදු කල පා මුර සංචාරයකදී මණ්ඩතිව්, පල්ලිකුඩා ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක් තුල සිරවී සිටි කැස්බෑවෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවා ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. අනතරුව එම කැස්බෑවා ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.