රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැ‍ගෙන ඒමට නාවික හමුදා සහාය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (2019 ඔක්තෝබර් 10) නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව, 2019 සැප්තැම්බර් 04 වන දින මිගමුව ධිවර වරායෙන් පිටත්ව ගොස් තිබූ ‘ෂවීන් පුතා - 1’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු උදරාබාධයක් හේතුවෙන් රෝගිවී සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව විසින් එම රෝගියා රැගෙන ඒම සඳහා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

එහිදී ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 47 ක් පමණ වූ දුරකදී රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණි. රෝගී වූ ධීවරයා වයස අවුරුදු 20 ක් වන මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.