නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 10 වන දින පල්ලියවාසලපාඩු සහ කල්ලාරු මුහුදු තීරයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය විසින් කල්පිටිය, පල්ලියවාසලපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී වලංගු ධිවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 29 ත් 42 ත් අතර පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක් සහ පිටත දහන යන්ත්‍ර 02 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, එම විධානය විසින්ම මන්නාරම, කල්ලාරු මුහුදු ප්‍රදේශය අශ්‍රිතව සිදු කළ මුර සංචාරයන් අතරතුරදී ද නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 30 ත් 43 ත් අතර පසුවන කල්පිටිය සහ වාලතොට්ටම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, නීති විරෝධී ලෙස ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1300 සහ තහනම් දැල් 02 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, අල්ලන ලද මසුන්, තහනම් ධීවර දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.