පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 11 වන දින ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1354 ක් සමඟින් මෙම පුද්ගලයින් පිරිස නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම මසුන් තොගය ප්‍රවාහන කිරීම සඳහා කැබ් රථයක් තුලට පැටවිමේදි මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එහිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු සඳහා භාවිතා කල ඩිංගි යාත්‍රා දෙකක් (02), පිටත දහන යන්ත්‍ර 02 ක් සහ ධීවර අම්පන්න කිහිපයක් ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම පුද්ගලයින් අවුරුදු 27 ත් 36 ත් අතර වයස්වල පසුවන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් තොගය, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුතුර්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම නීති විරෝධි මසුන් මැරිමේ ක්‍රමය හේතුවෙන් සාගර පද්ධතිය විනාශ විමට ලක්වි ඇත. එබැවින් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.