උතුරු නාවික විධානය විසින් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල සිසුන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල සිසුන් සඳහා පුහුණු වැඩසටහනක් 2019 ඔක්තෝබර් 11 වන දින කන්කසන්තුරේයි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේදී පැවැත්විණි.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන සඳහා විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය ඇතුළුව සිසුන් 19 දෙනෙකු සහභාගී වූ අතර, උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. එහිදී, හානි පාලනය හා ගිනි නිවීමේ උපකරණ, සිතියම් වැඩ, නාවික හමුදාව සතු ජීවිතාරක්ෂක උපකරණ, කිමිදුම් උපකරණ සහ ආරක්ෂාව, නාවික ආධාරක හා සංඥා උපකරණ, පිටත දහන යන්ත්‍ර හා ඒවා නඩත්තුව, ගිනි නිවිමේ ක්‍රම පිළිබඳව පුළුල් දැනුමක් සිසුන් හට ලබා දීමට කටයුතු කරන ලද අතර, ඒ සඳහා වැඩමුළු සහ ක්ෂේත්‍ර චාරිකා ද ඇතුලත් වීය.

මෙම පුහුණු වැඩසටහන සාර්ථකව කර ගැනීම වෙනුවෙන් දක්වන ලද සුවිශේෂි දායකත්වය වෙනුවෙන් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය ඇතුළු සිසුන් විසින් නාවික හමුදාධිපතිතුමා ඇතුළු සමස්ත නාවික හමුදාව වෙත සිය ස්තූතිය එහිදී පුද කර සිටින ලදී.