මගී ප්‍රවාහන යාත්‍රාවක් වන ‘එළුතාරකයි’ යාත්‍රාව යාපනය දිස්ත්‍රික් ලේකම් හට භාර කෙරේ

නාවික හමුදා බාරයේ තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක් වන ‘එළුතාරකයි’ යාත්‍රාව 2019 ඔක්තෝබර් 11 වන දින යාපනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් භාර දීමට කටයුතු කරන ලදී.

යාපනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් මෙම මගී ප්‍රවාහන යාත්‍රාව නාවික හමුදා පුද්ගලයින් විසින් 2017 සහ 2018 වර්ෂයේ උතුරේ දුපත්වාසි ජනතාවගේ ප්‍රවාහන කටයුතු සඳහා යොදා තිබු අතර, එම මගී ප්‍රවාහන සේවාව 2018 වර්ෂයේ තාවකාලිකව නවතා මෙම යාත්‍රාව කයිට්ස්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනයේ නැංගුරම්ලා තැබිමට කටයුතු කෙරුණි.

නාවික හමුදාධිපති‍, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මෙම මඟි ප්‍රවාහන යාත්‍රාව නැවතත් යාපනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් භාරදීම සිදු කරන ලදී. ඒ අනුව, යාපනය දිස්ත්‍රික් ලේකම්තුමා නියෝජනය කරමින් කයිට්ස්, ප්‍රදේශිය ලේකම්, මංජුලා දේවී මහත්මිය සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් තුෂාර සුගතදාස විසින් එතුමිය වෙත යාත්‍රාව නිල වශයෙන් භාර දීම සිදු කරන ලදී.

තවද, යාපනය, දිස්ත්‍රික් ලේකම්තුමාගේ ඉල්ලිම පරිදි ප්‍රදේශයේ ජනතාව හට මෙම මගී ප්‍රවාහන යාත්‍රාව හැසිරවීම සහ නඩත්තු පිළිබඳව පුහුණුවක් ඉදිරී කාලයේදී ලබා දීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාව අපේක්‍ෂා කර ඇත.