ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය සමඟ මුහුදු මිනුම් කටයුතු සම්බන්ධව ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකක් අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සහ එක්සත් රාජධානියේ ජල මානක කාර්යාලය 2019 ඔක්තෝබර් 11 වන දින ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන කාර්යාලයේදී ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකකට අත්සන් තැබීය.

ඒ අනුව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ සභාපති, ඉංජිනේරු ඊඒඑස්කේ එදිරිසිංහ මහතා සහ එක්සත් රාජධානියේ ජල මානක ඒකකයේ ප්‍රධාන විධායක නිලධාරී, රියර් අද්මිරාල් ටිම් ලෝව් අතර දෙරටේ රටවල් සඳහා සම්මත නාවික සිතියම් සහ ඉලෙක්ට්‍රොනික නාවික සිතියම් සිතියම්ගත කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම මෙහිදී සිදු කෙරුණි.

මෙම ගිවිසුම් දෙක තුලින් ශ්‍රී ලංකාවට, එක්සත් රාජධානියේ වෘත්තීය හා තාක්‍ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ සම්මත නාවික සිතියම් සහ ඉලෙක්ට්‍රොනික නාවික සිතියම් සිතියම්ගත කිරීම සහ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් අතරේ බෙදා හැරීමට හැකියාව පවති. එහි ප්‍රතිපලයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය ආවරණය වන පරිදි සම්මත නාවික සිතියම් සහ ඉලෙක්ට්‍රොනික නාවික සිතියම් යන දෙකම අනාගතයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය කීරමට අවස්ථාව හිමිවනු ඇත.

නාවික ප්‍රජාව වෙත තම මුහුදු සීමාව තුළ ආරක්ෂිතව ගමන් කිරීම සඳහා නාවික තොරතුරු යාවත්කාලීන කර සැපයීම සඳහා වන ‘මුහුදේ ජීවිත ආරක්ෂාව’ සම්මුතිය යටතේ ජාත්‍යන්තර නීතියට යටත් වූවත්, එවැනි සිතියම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිර්මාණය කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව නොතිබුණි. එබැවින්, මෙම කාර්යය 2001 වර්ෂයේ සිට එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය ඒකකය වෙත පවරා ඇත. කෙසේ වෙතත්, 2016 සිට ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා ඒකකය සමඟ ඒකාබද්ධව ජාතික ජල විද්‍යාත්මක ක්‍රියාකාරකම් ඉතා කෙටි කාලයක් තුළ වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ජාතික ජල විද්‍යාත්මක කාර්යාලයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අන්තර්ජාතික ප්‍රමිතීන්ගෙන් යුතු සිතියම් නිර්මාණය කිරීමේ හැකියාව මේවන විට හිමිව ඇත.

මෙම ද්විපාර්ශවික ගිවිසුම් තුලින් ශ්‍රී ලංකාවට සිය දැවැන්ත සාගර සම්පත්වලින් ප්‍රතිලාභ ලබා ගැනීමටත්, ගැඹුරු මුහුදේ ආර්ථික කටයුතු සංවර්ධනය කිරීමටත් උපකාරී වනු ඇති අතර, මෙය 2021 දී ඇරඹෙන “තිරසාර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සාගර විද්‍යාවේ දශකය” ට සමගාමිව සංවර්ධන කටයුතු සඳහා දායකත්වය සපයනු ලබයි.

මෙම අවස්ථාවට එක්වෙමින් එක්සත් රාජධානියේ ප්‍රධාන විධායක නිලධාරී, රියර් අද්මිරාල් ටිම් ලෝව් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ජල විද්‍යාව වැඩිදියුණු කිරීම පිළිබඳව තමා සැබවින්ම සතුටු වන බවත්, උතුරු ඉන්දියානු සාගර ජල විද්‍යාත්මක කොමිෂන් සභාවේ සභාපති වන නාවික හමුදා ප්‍රධාන ජල මානක නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි ශ්‍රී ලංකා ජල මානක විද්‍යාව පිළිබඳව පෙරමුණ ගෙන කටයුතු කිරීමත්, ශ්‍රී ලංකාව උපායමාර්ගික ලෙස වැදගත් ස්ථානයක පිහිටිමත් හේතුවෙන් වැඩි ප්‍රතිලාභ හිමිකර ගත හැකි බවත් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, ජල විද්‍යාඥයින් හට ඒ සඳහා විශාල කාර්යභාරයක් කළ යුතුව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

තවද, එහිදී අදහස් දැක්වූ නාවික හමුදා ප්‍රධාන ජල මානක නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි ප්‍රකාශ කර සිටියේ මෙය ශ්‍රී ලංකා ජල මානක ක්‍ෂෙත්‍රයේ නව ආරම්භයක් වන බවත්, ඉදිරි වසර කිහිපය තුළ එක්සත් රාජධානියේ ජල මානක ඒකකයෙහි සහාය ඇතිව නාවික සිතියම් ගත කිරීම තුලින් ජල මානක ක්‍ෂෙත්‍රයේ තාක්‍ෂණික දියුණුව වඩාත් සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවන බවත් ප්‍රකාශ කර සිටින ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ප්‍රධාන ජල මානක නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා සහ ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකය නිලධාරින් ඇතුළු ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට අනුයුක්ත නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.