මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 12 වන දින තලෙයිමන්නාරම, පියර්ගම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇත. ඒ අනුව එම යාත්‍රව පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි මළු 06 ක් තුල තිබී මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගැනීමට සමත්ව ඇති අතර, එහිදී පිටත දහන යන්ත්‍රයක් සහ ධිවර දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම කූඩැල්ලන් තොගය නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැක කරන අතර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙලෙස අතහැර පුද්ගලයින් පලා ගොස් ඇති බවට සැක පල කෙරේ.

නාවික බාරයට ගත් මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, එම විධානය විසින්ම එදින උදෑසන මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ද නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු ‍‍කරන ලදී. එමෙන්ම, නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල මෙන්ම වෙරළ තීරය ද කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් ‍මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විමට හැකියාව ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.